WHAT'S NEW?
Loading...

අද කාලේ කෙල්ලෝ කැමති මේ වගේ කොල්ලන්ටලු..(විශ්ව විද්‍යාල සමීක්ෂණයකට අනුව)


ඔන්න මං අද වෙනස්ම subject එකකින් post එකක් දැම්ම.awlk නැනේ කට්ටියට නේද......? මේ post එක අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි.....වැඩිය අනං මනං කියවලා කලේ කන්නේ මොකටද...කියවල බලන්නකෝ........
විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් විවිධ ක්ෂේත්‍ර වල තරුණියන් සහභාගී කරවාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වුනු තොරතුරු තමයි මේ. බලන්න ඔබ තුලත් මේ ගති ගුණ තිබෙනවාද කියලා.
අනුව අඩුම තරමින් අඩි 5 අඟල් 6 ක්වත් නැත්නම් අද තරුණයකුට තරුණියකගේ හිත දිනා ගැනීමට තරමක් අපහසුයි. තරුණියන්ගෙන් සියයට සියයක්ම තමන්ට වඩා උස පිරිමියකු පතන අතර ඉන් සියයට 10 ක් අඩි 6 ටත් වඩා උස පෙම්වතෙකුගේ සුරතේ වෙලි යාමට ප්‍රිය කරනවා.
ගණකාධිකාරීවරියන්, නීතිඥවරියන්, ක්‍රීඩිකාවන්ගේ හිත ගන්න නම් තරුණයන්ට සෑහෙන්න ‘බාර් එක්සර්සයිස්’ කරන්න වෙයි.
තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ ජෝඩු ඕන තරම් පාරේ දැක්කට බොහෝ කුමරියන් පතන්නේ කළුකුමාරයන් නොවේ කියලත් අනාවරණය වෙලා තිබෙනවා. හුඟක් අය ‘පිරිමි පාට’කියා හඳුන්වන්නේ තලෙළු පාටට.
සුදුම තරුණයකුට බොහෝ ඇඟලුම් සේවිකාවන් වගේ ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් කැමති වුණත් සියයට 20 ක් විතර තරුණියන්ට නම් පාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැලු. ඒත් තලෙළු අයට නම් ඉල්ලුම බොහොම වැඩියි. ඒ සියයට 80 ක්.
සමහර තරුණයෝ ඇඟ හදාගන්න කියල ජිම් ගියාට තරුණියන් ගෙන් සියයට අනූපහක්ම කැමැති සාමාන්‍ය සිරුරු සහිත තරුණයන්ට. ඒකට නම් රැකියා භේදයක් ඇත්තෙම නැහැ. ඉතිරි සියයට පහ වුණත් ඕනවට වඩා මාංශ පේශි උළුප්පගෙන ඉන්න කොල්ලො ගැන කතා කරන්නේ පිඹුරන් වගේ වෙන්න බෑ කියලයි.
වෙනසක් කරන්න කියලා කොණ්ඩේ වැව්වට තට්ටේ ගෑවට ආකර්ෂණය ඇති වෙන්නේ නෑ කියන්න හොඳම සාධකය තමයි සියයට අනූවක් දෙනා පිළිවෙළට කොණ්ඩේ කපලා ඉන්න තරුණයන් ගැන හීන මැවීම.
‘පොලිස් කට්’කපන අයටත් සියයට දහයක් විතර කැමැතියි. ඒ අතරින් වැඩි දෙනා ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණියන්.
විශේෂය තිබෙන්නේ සමහර නීතිඥවරියන් ඉඳහිට කොණ්ඩෙ වවනවාටත් කැමැති වීමයි. ඒත් ඒ ප්‍රමාණය සියයට පහයි.
සියයට හැත්තෑවක්ම තරුණියන් රැවුල හොඳට කපලා පිළිවෙළට ඉන්න තරුණයන්ට තමයි කැමැති.
හැබැයි සමහර නිළියන් චූටි කටු රැවුළක් තිබෙනවටත් කැමැති බව ඔප්පු වෙලා තිබෙනවා. පොඩි රැවුල් මෝස්තරයක් ඉවස ගන්න නීතිඥවරියන්, ගණකාධිකාරිවරියන්, ගුරුවරියන් සමහරවිට කැමැතියි.
ඒත් රැවුළ වැව්වාම නම් වයසක පාටයි කියලා තමයි බොහෝ තරුණියන් හිතන්නේ.
ඔය විදිහට පෙනුම බලලා තෝරගන්න පෙම්වතාට ස්ථිර රැකියාවක් තිබෙන්නට ඕන කියන එක නම් සියයට 80 ක්ම අනුමත කළා. සමහරුන්ට එය පෞද්ගලික අංශයේ වුණත් කමක් නෑ.
ඒත් සමහර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් වගේම නිළියනුත් රජයේ රැකියාවක් කරනවට කැමැතියි.

සමහර නීතිඥවරියන් සහ ඇඟලුම් සේවිකාවන් ව්‍යාපාරිකයන්ට කැමැතියි.
ඒත් ගුරුවරියන් ගෙන් සමහරුන් මාධ්‍ය, ගුරු, නීතිඥ වැනි වෘත්තිකයන්ට අකමැතියි.
ගණකාධිකාරිවරියන් බොහෝ දෙනකු තමන් වගේම ගණිත ශාස්ත්‍රයට නැඹුරු වෘත්තීන්වල යෙදෙන්නන් ගැන උනන්දුයි. ඒත් රජයේ රැකියාවල කිසිම නිදහසක් නෑ කියලා මතයක් ඇඟලුම් සේවිකාවන් අතර තිබෙනවා.
රැකියාව වගේම වාහනයකුත් තරුණයකුට තිබීම ගෑනු ළමයින්ගේ හිත ගන්න හේතුවක් ද? ඔව්. සියයට 70 ක් අයට වාහනයක් ඕනමයි.
සියයට තිහකට විතර එහෙම නොතිබ්බා ය කියලා හිත වෙනස් වෙන්නෙ නෑ. ඒත් ඉහළ තනතුරු දරන අය ඔහුටත් ඒ මට්ටම පැවැතිය යුතු බව සිතනවා.
සමහරු වාහන එපා කියන්නේ තමන්ට වාහනයක් තිබෙන නිසා.
ඒත් ගුරුවරියන් නිළියන්, සාමාන්‍ය යතුරුපැදිවලටත්, ක්‍රීඩිකාවන් හා ඇඟලුම් සේවිකාවන් ට්‍රේලර් බයිසිකල්වලටත් කැමැති බව පැහැදිලි වෙලා තිබෙනවා. ත්‍රීරෝද රථයක් හරි තිබීම ඇඟලුම් සේවිකාවකගේ හිත දිනා ගැනීමට ඉතාම වැදගත්.
වාහනේ ගිහින් නතර කරන්න නිවෙසක් තිබිය යුතුයි ද? නිවසක් එපා කියා නම් කිසිවකුත් නොකීවාට ඕනැමයි කියා කීවේ සියයට 30 යි.
නීතිඥවරියන් ගෙන් ඇතැමෙකුගේ මතය වූයේ නිවෙසක් අලුතින් තැනීම කාලය අපතේ යැවීමක් බවයි. තමන් කැමැති අයුරින් නිවසක් තනා ගැනීම අනෙක් බහුතරයගේ ආශාවයි.
ගේදොර යාන වාහන තිබුණු පලියට කාගේ වුණත් ගතිගුණ හොඳ වෙන්නේ නෑ. හැදියාවක් තිබෙන පවුල් පසුබිමකින් පැවත එන අයට හොඳ පෞරුෂයක් හිමි වෙනවා කියලා සැම දෙනාම පාහේ විශ්වාස කරනවා.
බහුතරයක් ඒ කියන්නේ සියයට 70 ක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලට ගැළපෙන සමාජ තත්ත්වයක්. සියයට 60 ක් හොඳ කියන සීමාවේ නතර වෙනවා.
තමන්ට වඩා උසස් පවුල් පසුබිමක් තිබිය යුතුයි කියා හිතන්නේ සියයට දහයයි. පවුල් පසුබිම කුමක් වුවත් පුද්ගලයා හොඳ නම් ආදරය කරන්න තීරණය කළේ සියයට 10 යි.
ඒ වගේම කුලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියලා සියයට පනහක් කීවාට ඒ අයගෙනුත් සමහරුන්ගේ මවුපියන් ඒ සාධකය සලකයි කියු නිසා කුල සාධකය මේ අයගෙන් සියයට 70 කට බලපානවා.
වැදගත් කුලවත් පරපුරකට අයිති නම් ඒ තරුණයා ගමේ ද නගරෙ ද කියන එකවත් හොඳම පාසලක ආදි ශිෂ්‍යයෙක් ද කියන එකවත් බහුතරයක් දෙනාට ලොකු ගැටලුවක් නෙවෙයි.
ඒත් ලේකම්වරියන් බොහෝ විට නාගරික තරුණයන්ට ප්‍රිය කරන බව තමයි සමීක්ෂණයෙන් හෙළි වන්නේ. ඒත් නීතිඥවරියන් අතරින් සමහරු කීවේ ගමේ පාසලකට ගිය තරුණයකු ඕනවට වඩා තර්ක නොකරන නිසා තමන්ට ගැළපෙන බවයි.
ඒත් ඉංග්‍රිසි ටික නම් දිව උලුක්කු නොවෙන්න කතා කරගන්න පුළුවන් වීම ඉතා වැදගත් කියා ඔවුන් සිතනවා.
විශේෂයෙන් මාධ්‍යවේදිනියන්ගේ ද අදහස ලෝකයේ ඕනෑම රටකදී තමන්ට අවශ්‍ය අයුරින් අදහස් ප්‍රකාශ කරගත හැකි පරිදි අන්තර්ජාතික භාෂාවක් හැසිරවීමට හැකි වීම තම අනාගත සැමියා සතු විය යුතු ලක්ෂණයක් බවයි.
නිළියන් ගෙන් බහුතරයක් තමන්ටත් අනුන්ටත් තේරෙන අයුරින් වැදගත් විදිහට කතා කරන්නට හැකි අයුරින් සිංහල ප්‍රගුණ කර තිබීම වඩා වැදගත් බව හිතනවා.
ඒත් ඉංගිරිසි එපා යැයි කීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ. සියයට සියයක්ම සිංහල ඉංග්‍රීසි භාෂා අවශ්‍යයි කියන අතර දෙමළ භාෂාවත් පුළුවන් නම් හොඳ බව නිළියන් වගේම ක්‍රීඩිකාවන්ගෙන් සමහරු හිතනවා.
වතුර වගේ ඉංග්‍රීසි කතා කළත් ඕනවට වඩා මෝස්තර දාන කොල්ලන් ගැන නම් කිසිම කෙල්ලක් උනන්දු වන පාටක් නෑ.

තමන්ටත් මෝස්තර කරන්න ඕන නිසා පෙම්වතාටත් ඒ අවස්ථාව දෙන්නේ නීතිඥවරියන් ගෙන් කීපදෙනෙකුත් ඇඟලුම් ‍ක්ෂේත්‍රයේ කීපදෙනකුත් පමණයි. සියයට අසූපහක්ම තැනට, අවස්ථාවට ගැළපෙන මෝස්තරයක් කරනවාට විරුද්ධ නෑ. හැබැයි වැදගත් විදිහට.
එහෙම ජැන්ඩියට ඇඳ පැලඳගෙන උත්සවේකට ගිහින් කබරයා වෙනකල් සුරාපානය කරන එකට සියයට සියයක්ම විරුද්ධ වුණේ වෛද්‍යවරියන් බහුතරයක් හා නිළියන්. දොස්තර නෝනාගේ මහත්තයා බීලා නැති වුණේ කියලා අහගන්න වෘත්තිය ගෞරවය ගැන හිතන කිසි කෙනෙක් කැමැති නැහැ.
අනිත් ක්ෂේත්‍ර හැම එකකම පාහේ තරුණියන් කීවේ තමන්ගේ සීමාව තේරුම්ගෙන ඉඳහිට මද පමණින් සතුටක් ලබනවාට එරෙහි වීමත් මානුෂික නැහැ කියායි.
කොතරම් කෑවත් බීවත් විරුද්ධ නොවන අය පවා උත්සවයකදී වෙන කෙල්ලක සමඟ තමන්ගේ කොල්ලා නර්තනයකට සහභාගි වෙනවට එතරම් සතුටු නැහැ.
අනිත් අතට තමන්ගේ පෙම්වතා හොඳ සමාජශීලී කෙනෙක් වෙන්න ඕන කියලා හැම ක්ෂේත්‍රයකම තරුණියන් කීවාට ගණකාධිකාරිවරියන් වගේ ම වෛද්‍යවරියන් බහුතරයක් කැමැති සීමාවක් ඇතුව කතා කරන අයටයි.
ගුරුවරියන්, නිළියන් වගේම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන්නියන් සියලු දෙනා සමඟ එක විදිහට කතාබහ කරන තරුණයන් අගය කරනවා.
ඒත් අපේ තරුණයන් දැනගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ඒ හැම කෙල්ලක්ම කැමැති තමන් සමඟ විශේෂයෙන් හිනාවෙලා කතා කරන තරමටම වෙන කෙල්ලන් සමඟ විහිළු තහළුවට නොයන කොල්ලන්ට පමණක් බවයි.

                                                                                                                                                                              Life අඩවියෙන් උපුටා ගන්න ලදී.

Share This...........!

1 comment: Leave Your Comments

  1. රෙද්ද තමයි. කෙල්ලෝ බයයි. බය වෙලා වෙවුවලනවා උස දැක්කම. මම 6.6

    ReplyDelete